ක්ලමථය කළමනාකරණ කරමු. Stress Management

මූල්‍යමය වටිනාකම සඳහා සුවිශාල ස්ථානයක් වෙන්ව ඇති , නිරන්තරයෙන් තාක්ෂණය හා ගනුදෙනු කරන්නාවූ සමාජ වපසරිය තුළ නිරන්තරයෙන් ඇසෙන වදන් ගොන්නට Stress යන වචනය එක් වී ඇත්තේය. අනවරත බලාපොරොත්තු හා අරමුණු පසුපස දිව යෑම හා ඒවා බිදීයෑම හමුවේ මුහුණ දීමට මානසික ශක්තිය හීන වීම නිසාත් මානවයා ඉතා ඉක්මනින් මෙම තත්වයට ගොදුරු වීම දැකිය හැකි වේ.

ක්ලමථ අක්‍රමිකතාව හෙවත් stress යනු පුද්ගලයා භාහිර උත්තේජයක් සදහා දක්වන්නාවූ මානසික ,ශාරීරික හා චර්‍යාත්මක ප්‍රතිචාරයයි. ක්ලමථය ඵලදායී ක්ලමථය හා ඵලදායී නොවන ක්ලමථය ලෙස ප්‍රධාන කොටස් දෙකකින් යුක්තවේ.ඵලදායී ක්ලමථය තුළින් යම් කාර්‍යයක් කිරීමට උත්තේජනයක් ඇති වන අතර එය යහපත් හා ධනාත්මක බව මනෝවිද්‍යාඥයින් පෙන්වා දෙයි .නමුත් ඵලදායී නොවන ක්ලමථය තුළින් පුද්ගලයාගේ සමස්ථිතියට භාදා පමුනුවනු ලබයි.

අහිතකර ක්ලමථය ඇති වීමේදී එය අදියර තුනකින් ඇති වීම දැකිය හැකිය.එනම්
1) අනතුරු හැඟවීමේ අවධිය
2) මුහුණ දීමේ අවධිය
3) ශක්තිය පිරිහීමේ අවධිය

අනතුරු හැඟවීමේ අවධියේදී ශරීරය හදිසි ප්‍රතික්‍රියා දැක්වීම සිදුවේ.හදගැස්ම වැඩි වීම, හුස්ම ගැනීමේ වේගය වැඩිවීම, ආහාර ජීර්ණය දුබල වීම, හිසරදය, අධික වෙහෙසකර බව, මස් පිඩු හන්දි වේදනාව, කුසගිනි නොමැතිකම, පරාධීන බවක් ඇතිවීම දැකිය හැකි වේ. මෙම තත්වය තුළ පැවතීමේදී තවදුරටත් පීඩාව පවතියි නම් පුද්ගලයා මුහුණ දීමේ අවදියට ගොදුරු වේ.

එම අවධියේදී අනතුර සඳහා ක්‍රියාත්මක වීමට ශරීරය පටන් ගන්නා අතර ඒ සඳහා ප්‍රතිදේහ නිපදවීම සිදු වේ. එම නිසා අනතුරු හැඟවීමේ ලක්ෂණ පහවීම සිදුවේ. නමුත් ශරීරය ක්ලමථය හා සටන් කරමින් පවතින නිසා අන් රෝගයක් ඇති වුවහොත් ඉක්මනින්ම ගොදුරු වීම සිදුවේ.මෙම තත්වය තුලදී ද පුද්ගලයා හට රෝගයෙන් පීඩා විදියි නම් ඔහු පිරිහීමේ අවධියට ලක් වෙයි.

එම අවධියේදී අනතුරට මුහුණ දීම සඳහා දිගින් දිගටම ශරීරය වෙහෙසීම නිසා නැවත වරක් රෝග ලක්ෂණ මතු වීම සිදු වේ. මෙම අවදිය අධික පීඩාකාරී වන අතර පුද්ගල මරණය පවා සිදුවිය හැකිය.

එම නිසා මුල් අවධියේදීම ක්ලමථය හදුනා ගැනීමත් ඒ සඳහා ප්‍රතිකාර කිරීමත් අත්‍යවශ්‍යය වන අතර මේ නිසා නිරන්තරයෙන් එදිනෙදා ජීවිතයේදී ක්ලමථය කළමනාකරණ කළ හැකි ක්‍රියාමාර්ග තුළ නියැලීම අත්‍යවශ්‍යය වේ.

ක්ලමථය කළමනාකරණ කරගැනීම

✔️ ව්‍යායාමවල නිරත වීම.එය ජීවන පුරුද්දක් බවට පත් කර ගැනීම

✔️ විවේකය. මෙහිදී නිවැසියන් හා එක්ව විවේකයෙන් කාලය ගත කිරීම,මසකට වරක් හෝ කෙටි විනෝද ගමනක් යෑම, චිත්‍රපටයක් බැලීමට කාලය වෙන් කර ගැනීම සිදු කළ හැකිය.

✔️ ආහාර පාලනය.අධික තෙල් , පිටි හා සීනි සහිත ආහාර වලින් ඉවත් වීම.

✔️ විනෝදාංශයක් සඳහා කාලය වෙන් කර ගැනීම. (කියවීම ,ලිවීම, නර්තනය,ගායනය, සවන්දීම)

✔️ කාලය කළමණාකාරණය කර ගැනීම. සෑම දෙයක් සඳහාම කාලය බෙදා ගැනීම අත්‍යවශ්‍යය වේ.නිවසේ වැඩ වැඩපලටත්,වැඩපලේ වැඩ නිවසටත් ගෙන යෑම නොකළ යුතු අතරම ,නිවැසියන් හා කාලය ගත් කිරීමට , විනෝදාංශයක් කිරීමට, ව්‍යායාම කිරීමට පැය 6 කවත් නින්දක් ලබා ගැනීමට කාලය කළමනාකරණ කරගැනීම අත්‍යවශ්‍යය .

✔️ භාවනා කිරීම.

✔️ අන්තර් පුද්ගල සබදතා වර්ධනය කරගැනීම.

ජීවත් වීම සදහා වැඩ කරනු වෙනුවට , වැඩ කිරීම සදහා ජීවත් වීම යන තැනට අප සංකීර්ණ වී ඇත්තේ නිතැතිනි.නමුත් මානසික සෞඛ්‍ය සදහා ඔබට ජීවිතයේ වැඩි ඉඩක් වෙන් කළ හැකි නම් ඔබ ජීවිතය සාර්ථක වන්නේ නිතැතිනි .

අයේෂා සඳගිරි


Comments