මිනිසුන් ආකර්ශනය කර ගැනීම 02

ලොව සියලු දෙයටම කලාවක් තියෙනවා වගේ මිනිසුන්ගේ සිත් දිනා ගැනීමත් එක්තරා අන්දමක කලාවක්.කම්කරුවගේ පටන් ජනාධිපති දක්වා සියලුම තනතුරු දරන්නන් සදහාත් පවුල් ජීවිත සාර්ථක කරගැනීම සඳහාත් මිනිසුන්ගේ සිත් දිනා ගැනීම මේ පිළිබදව අපූරුවට ඩේල් කානගී මහත්මයා සදහන් කරනවා. මිනිසෙක් ලවා අපට අවශ්‍ය කාර්‍යය කර ගැනීම සඳහා වඩාත්ම සුදුසු ආකාරය වන්නේ ඔහු අප කෙරෙහි ආකර්ශනය කරවා ගැනීමයි.මුලු මහත් ලොවක් පිළිගත් මිනිසුන් ආකර්ශනය කර ගැනීමේ නීති ඉගෙන ගනිමින් යන මේ ගමනේ දෙවන පාඩමයි මේ.

දෙවන නීතිය -

හිතවත් ලෙස හොඳ දේ අගය කිරීම

අගය කිරීම කියන්නේ මේ ලෝකේ සෑම සියලු සත්ත්වයෙක්ම කැමති දෙයක්. සත්වෝද්‍යාන වල සතුන් පුහුණු කිරීමට භාවිතා කරන උපක්‍රමයක් අගය කිරීම. අදාල ක්‍රියාකාරකමක් අවසන් වූ වහාම සුරතල් කිරීම අගය කිරීම කෑම දීම වගේ දේවල් තුළින් සතුන් පුහුණු කරනවා. සිංහයන් කොටියන් වගේ දරුණු ගණයේ සතුන් පවා බළලුන් වගේ හීලෑ වෙන්න අගය කිරීම බලපානවා.

මිනිසුන්ටද මෙය එයාකාරයෙන්ම බලපානවා. තමා සැලකිය යුත්තෙක් බව කියා පෑමට සෑම සියලු මිනිසෙක්ම කැමතියි. ඔහු සෑම විටෙකම අන් සියල්ලටම වඩා සිය ආත්ම ගරුත්වය, වටිනාකම වෙනුවෙන් සටන් කරනවා. කෙනෙක් දෝෂ දර්ශනයට ලක් කිරීම තරම් අකමැති දෙයක් තවත් නැහැ.

මිනිසෙක් තුළ ඇති වැඩ කිරීමේ ශක්තිය ඉතාම හොදින් වැඩි දියුණු කිරීමට ඇති මාර්ගය ඔහුගේ කාර්‍යය උසස් කොට සැලකීම හා ඔහු අගය කිරීමයි.

අපි හැමෝම අපේ දක්ෂතා, අපේ දරුවන්ගේ දක්ෂතා ආදිය ගැන කතා කරන්නේ මේ නිසා. මුහුණු පොතේ නිතර සිය ජයග්‍රහණ යාවත්කාලීන කරන්නේ මේ දේ අවිඥානිකව බලපාන නිසා.

ඔයාට කෙනෙක්ව හර්දයාංගමව ආකර්ශනය කරගැනීමට අවශ්‍යනම් ඔහුව අවංකවම අගය කිරීම ඉතා හොඳ ක්‍රමවේදයක්.යම් කෙනෙක්ගේ හොඳ ගති ගුණ වර්ණනා කිරීමට කිසිම දෙයක් වැය නොවන නමුත් එයින් වන ඵලදායීත්වය සුවිශාලයි .

Comments